www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

දේව වචනය දැනගැනීමට අන් අයට උපකාරිවීම ඔබගේත් මාගේත් ආත්මික සේවයයි.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

අප ජිවත්වන වර්තමාන ලෝකය.

ලෝක නායකයන් රැස්වී සාකච්චා කරණ පාරිසරික විපර්යාශයටත් වඩා අභියෝගාත්මක වෙනස්කම් රාශියකට අප මුහුණ දෙමින් සිටින බව දිනපතා අසන්නට සහ දකින්නට ලැබෙන විවිධාකාර පුවත්පත් වලින්ද වාර්තා වෙයි. එසේම සාමය සමාදාණය දියුණුව අභිබවා මිනිසුන් පීඩනයට පත්කරවන විනාශකාරී ක්‍රියාවන්ද දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් රහසක් නොවෙයි. වෙනදාටත් වඩා අප දකින එවැනි අසාදාරන මෙන්ම විනාශකාරී ක්‍රියාවන්ද හෙට දවස ගැන ඇති බලාපොරොත්තුවද සැකයට ලක්කරයි.

ඒ නිසාම මේ ලෝකයට වෙන්නේ කුමක්ද? මිනිසුන් ඇයි මෙහෙම අමනුෂ්‍යයන් මෙන් ක්‍රියා කරන්නේ? සාදාරණය, අනුකම්පාව සමාජයෙන් ඈත්වෙලාද? මෙහෙම ගියොත් ඉතින් අපිට ජීවත්වන්නට ලෝකයක් ඉතුරු වෙයිද? ආදී වශයෙන් ලෝකය දෙසට ඇස් හෙලාගෙන අපි බලා සිටින්නේද, සැබවින්ම අප ජිවත්වන මේ ජනසමාජය දියුණුවට වඩා පරිහානිය වෙතට සිඝ්‍රයෙන් ඇදී යන නිසායි.

අප අවට සිදුවන සියල්ල දෙස විමසිල්ලෙන් බලනාවිට පෙනෙන අනෙක් විශේෂත්වය වන්නේ, මේ සියලු අශුභවාදී සිදුවීම් වලට මුල මිනිසුන්ම වීමත් දැකීමයි. ලෝකය දෙස බලබලා ඒ තුල සිදුවන සියලු වැරදි වලට අපි ඇඟිල්ල දික්කර පෙන්වීමට පුරුදුවී සිටියත්, ඒ සියල්ලට මුල්වන්නේ අපේම ජිවිත රටාව බව නිකමටවත් සිතා බැලීමට අප කොගේත්ම කැමති නොවෙයි.. එයට හේතු වන්නේත් අප සැමවිටම අප ගැන පමණක් සිතන මිනිසුන් වීමත් එසේම අපි ආර්ත්මාර්ථ කමෙන් අන්ධවී ගිය මිනිසුන්ව සිටීමත් යන යථාර්තයයි.

ඒ අනුව බලනකළ ලෝකයේ දියුණුවට මුල්වූ මිනිසාම දැන් ලෝකයේ පරිහානියටද මුල්වී සිටීමත් පැහැදිලිවම පෙනෙයි. එයට හේතුවන්නේ කුමක්දැයි කියා සොයා බැලීම ප්‍රයෝජනවත් වන්නේ ලෝකය හරි ගැස්සීමට නොව නුමුත් අප එකිනෙකාගේ ජිවිත ගොඩනගා ගන්නා පිණිසයි.

ඇදහිලිවන්තයන් හැටියට අප ලෝකය දෙස මෙන්ම අප එකිනෙකාගේ මතු දියුණුව ගැනත් සිතා බැලීමේදී ඒ දෙස අපි ඇදහිලිවන්තයන් හැටියට දෙවියන්වහන්සේගේ වචනය තුලින් බැලීමත් ප්‍රයෝජනවත් වන්නේ, අන් සියල්ලට වඩා මිනිසා සහ මිනිසාගේ මතු දියුණුව ගැන දෙවියන්වහන්සේම හේතු දක්වා ඇති හේතුවයි. ලෝකයා මුහුණදෙන මේ අවධානම සහ එයට හේතුවන එකම හේතුව මිනිසාගේම ආත්මික පසුබෑම බව දෙවියන්වහන්සේගේ වචනය ඒ ගැන පැහැදිලිව පෙන්වාදෙයි.

මිනිසුන් මෙන්ම ලෝකයද මුහුණ දෙමින් සිටින මේ ආත්මික පරිහානියට මුල්වූ ප්‍රධාන හේතුව මෙන්ම එයින් මිදීමට හැකි එකම මාර්ගය ගැනත් බයිබලයේ ඇති ඉගැන්වීම පළමුවැනි කොරින්ති පොතේ පහළොස්වැනි පරිච්චේදයේ කෙටියෙන් ලියා දක්වයි. එය තේමා දෙකකින් යුක්තවී මෙසේ සටහන් වෙයි.

"ආදම් කරණකොටගෙන මරණය පැමිණියාක් මෙන්, ක්‍රිස්තුස්වහන්සේ තුළින් ජිවණයද පැමිණියේය".

මිනිස් වර්ගයාගේ වැටීමට හේතුවන්නේ පළමු මිනිසා වූ ආදම්ගේ අකීකරුකම බව ඒ ගැන පළමුවෙන්ම සඳහන් කර සිටින පාවුල් තුමා මෙහි පහදා දෙන්නේ, ආදම්ගේ ඒ අකිකරුවීමේ ක්‍රියාව වර්තමානයේ අප මුහුණ දෙන මේ ආත්මික පසුබෑමටත් මුල්වන බවයි. පළමුවෙන්ම ඒ යථාර්තය ගැනත් පහදා දෙමින් පාවුල් තුමා ඊළඟට පෙන්වාදෙන අනෙක් වැදගත් කාරණය වන්නේ, මිනිසා මුහුණ දෙන සැබෑ තත්වය එය වුවත් ක්‍රිස්තුස් වහන්සේ තුළින් මිනිසාට බලාපොරොත්තුවක් තිබෙන බවයි.

පළමු මිනිසා අකීකරුකම තුලින් උරුම කරගත් ඒ පාපිෂ්ඨ ස්වභාවයේ බලපෑම මේ අදටත් අපට බලපානවා වාගේම, ඒ පාපය නිසා මිනිසාට උරුමවූ දඬුවම ගෙවා දැමීමට තම ජීවිතය පුජා කරමින් මරණ පරදවා නැවත ජීවමානවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මිනිස් වර්ගයාට සපයා දුන් ඒ ආත්මික ජයග්‍රහණයත් අපට එකසේ බලපාන බවයි. එබැවින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සපයාදුන් පාප සමාව තුලින් අප මුහුණ දෙන මේ ආත්මික පරිහානියෙන් ජයගැනීමටත් හැකි බව පාවුල් තුමා එහි පැහැදිළිව සඳහන් කර සිටියි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ජීවිතය ජයගැනීමට හැකි ඒ මාර්ගය දෙවියන්වහන්සේම විසින් අපට සපයා දී ඇති නුමුත් තවමත් මිනිසා දෙවියන්වහන්සේ වෙතින් ඈත්ව පාපය යන ඒ දුර්වලකම තුලම ජීවත්වන්නේ, මිනිසුන් වන අපි මේ තත්වයට ඇද වැටුනේ කොහොමද? කියා ඒ ගැන හෝ, මිනිසුන් හැටියට අපි තුල මේ පව්කාර ස්වභාවය ක්‍රියාවට නැගෙන්නේ ඇයිද? කියා ඒ ගැන හෝ, ස්වභාවයෙන්ම මිනිසා පාපය නමැති මේ බලවේගය තුල හිරවී සිටින්නේ කොහොමද? කියා ඒ ගැන හෝ කිසිවක් නොදැන සිටීම මෙන්ම ඒ ගැන වැඩි සැළකිල්ලක්ද අපට නොවීමයි.

අප ජිවත්වන මේ තත්වය වටහා දීමට පාවුල් තුමා රෝම පොතේ යොදාගන්නේ “වහලුන්” යන වචනයයි. පාපය මිනිසා වහල් තත්වයට පත්කරගෙන සිටිනවා පමණක් නොව නුමුත් එය මිනිසාගේ හදවත පාලනය කරන බවත් ඔහු එහි පෙන්වාදෙයි.

යේසුස් වහන්සේද අප තුල ඉබේම ක්‍රියාවට නැගෙන මේ පාපිෂ්ඨ ස්වභාවය පෙන්වාදෙන පිණිස උදාහරණයක් හැටියට “වහල් භාවය” යොදාගනිමින් ඒ ගැන පහදා දෙන්නේද පාපය අපව ආත්මික දෙවියන්වහන්සේ ගෙන් ඈත්කර තැබීමට තරම් බලවත් වීමයි. (යොහාන් 8:30 -31 )

“පව් කරණ සියල්ලෝම පාපයේ වහල්ලුය.”

මිනිසාගේ පව්කාර ස්වභාවය උපතින්ම උරුමවන හෙයින් එයින් ගැලවීමක්ද මිනිසාට නොමැති වීමත් ඒ තත්වය වහල්කමට සමාන කර පෙන්වීමට හේතුවෙයි. ඒ නුමුත් දෙවියන්වහන්සේ පවසා සිටින්නේ අපි උන්වහන්සේගේ වචනයට කීකරුවී උන්වහන්සේට අපගේ හදවත් බාරදීමට කැමතිනම් උන්වහන්සේට අපව පාපයේ බලයෙන් නිදහස් කල හැකි බවයි.

“නුඹලා මාගේ වචනයේ පවතිනවා නම්, සැබෑවටම නුඹලා මාගේ ගොලයෝය, නුඹලා සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය නුඹලා නිදහස් කරන්නේය. “

සත්‍යය යන ඒ වචනය යොදාගනිමින් යේසුස් වහන්සේ කතා කරන්නේ සත්‍යය වෙනුවෙන් පෙනීසිටින “දෙවියන්වහන්සේ” ගැනයි. දෙවියන්වහන්සේට පමණක් අපව ඒ පාපය නමැති වහල් කමෙන් මුදවාලිය හැකි බව යේසුස් වහන්සේ එහි උගන්වනු පෙනෙයි. ගැළවුම්කාරයාණන් ලෙසින් යේසුස් වහන්සේ මොලොව උපදින්නේද ඒ වෙනුවෙන්ම පමණක් බවත් උන්වහන්සේම දේව වචනයේ පවසා සිටියි.

“යේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ කියන සේක; නුඹලා පහලින් වන්නහුය, නුමුත් මම ඉහලින් වෙමි. නුඹලා මේ ලෝකයෙන් වන්නාහුය, නුමුත් මම මේ ලෝකයෙන් නොවෙමි. එහෙයින් නුඹලාගේ පාපයේම නුඹලා මැරෙනවා ඇතයි නුඹලාට කියමි.

ඒ මම යැයි නුඹලා විශ්වාස කලොත් මිස නැතිනම් නුඹලා නුඹලාගේ පාපයේම මැරෙනවා ඇත.” -යොහාන් 8:23

මිනිසාගේ ආත්මික බිඳවැටීම සහ එයට මුල්වී ක්‍රියාකරන පාපය නමැති ඒ බලවේගය ගැන බයිබලය පෙන්වාදී ඇති මේ හේතු දැක්ම දෙස අපි විමසිල්ලෙන් බලන්නේ නම්, අප තුලත් , එසේම අප ජිවත්වන මේ සමාජය තුළත් සිදුවෙමින් පවතින ආත්මික බිඳවැටීම සහ පසුබෑමට මුල්වී ඇති ඒ යථාර්තය අවබෝධ කරගැනීම එතරම් අමාරු නොවෙයි.

මිනිසුන් හැටියට අපි අප ගැන පමණක් සිතන මිනිසුන් හැටියටත් සැමවිටම ආර්ත්මාර්ථ කාමීව ක්‍රියා කිරීමටත් ලෝල්වන්නේ ඇයිද කියා තේරුම් ගැනීමට නම් පළමුවෙන්ම ඒ වෙනුවෙන් අපිට අපගේ හදවත් සෝදිසිකර බැලීමටද සිදුවෙයි. .

1. පාපය මිනිස් ජිවිතයට ඇති කල පළමු බලපෑම.

සදාකාලික ආත්මයක් ඇතුව දෙවියන්වහන්සේ සමග සහභාගිකම පවත්වමින් ධර්මිෂ්ඨව ජිවත්වන පිණිස සදා මවන ලද පළමු මිනිස් යුවල පාපය නමැති ඒ බලවේගය උරුමකර ගැනීමෙන් අනතුරුව අත්දකින පළමු බලපෑම වන්නේ, දෙවියන්වහන්සේ ගෙන් ඔවුන් වෙන්කරනු ලැබීම අත්දැකීමට පැමිණීමයි. එසේ වීමට අධර්මිෂ්ඨකම ඔවුන් සහ දෙවියන්වහන්සේ අතර හරස්වූ බව දේව වචනය පෙන්වාදෙයි.

එයින් අදහස් කෙරෙන්නේ, දෙවියන්වහන්සේ සමග සම්බන්ධකම් පවත්වමින් ජීවත්ව සිටි මිනිසාට අකීකරුකම හේතුවෙන් අධර්මිෂ්ඨකම උරුමවූ බැවින් (පාපය) දැන් ඒ ස්වභාවය මිනිසාව දෙවියන්වහන්සේ ගෙන් වෙන්කර තැබීමට සමත්වූ බවයි.

“එහෙයින් එක මනුෂයෙකු කරණකොටගෙන පාපයත්, පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල් වුනාක් මෙන්, සියලු මනුෂ්‍යන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමිණුනේය.”

“මක්නිසාද පාපයේ කුලිය නම් මරණයය. නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලෙබෙන සදාකාල ජිවනයය.”

ඒ අනුව බලනවිට ආදම් සහ ඒවාට ආදියේ උරුම වූ "මරණය" ශාරීරික එකකටත් වඩා ආත්මික එකක් බව ඒ ගැන සඳහන් දේව වචනයේ ඇති ඉගැන්වීම පැහැදිලිව පෙන්වාදෙයි.

"එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය සියලු මනුෂ්‍යන් කෙරෙහි අධිපතිකම් කරයි." -රෝම 5:12

2. පාපය මිනිස් ජිවිතයට ඇති කල දෙවැනි බලපෑම.

අකීකරුවීම හේතුවෙන් උරුම කරගත් “පාපය” මිනිසා තුල ඇතිකළ දෙවැනි බලපෑම වන්නේ, දෙවියන්වහන්සේගේ ආත්මය වෙනුවට මිනිසාගේ හදවත පාපයේ බලය පාලනය කිරීමට පටන් ගැනීමයි.

එහි ප්‍රතිඵලය වන්නේ, යහපත සහ ධර්මිෂ්ඨකම තෝරාගැනීමට නොහැකි තත්වයකට මිනිසා ඇද වැටීමයි. . මේ හේතුව පළමුවෙන්ම දෙවියන්වහන්සේත් මනුෂ්‍යයාත් අතර බෙදීම හට ගැන්වූ අතර ඉන්පසු සිදුවූ දෙවැනි කාරණය වන්නේ මනුෂ්‍යයන් මනුෂ්‍යයන් අතරේ පවා ඒ පාපිෂ්ඨ ස්වභාවය බෙදීම සහ බේද හටගැනීමටත් ඉඩසැලසීමයි.

අධර්මිෂ්ඨකම ලෙසින්ද හඳුන්වා දී ඇති පාපය මිනිසාට උරුමකර දුන් ප්‍රතිඵලය වන්නේ; මරණය, බෙදීම, සහ අධර්මිෂ්කම යන මේ ප්‍රධාන සිද්ධාන්ත තුණ තමන් කෙරෙහි බලය පැවැත්වීමට ඉඩහැර ගැනීමයි. මෙළොව අප දකින සෑම සියළු ව්‍යසනයක් වෙනුවෙන් මිනිසාම මුල්වී කටයුතු කිරීමට මුල්වන්නේද එයයි. මිනිසුන්ගේ ක්‍රියා අශුභවාදී තත්වයකට පත්ව තිබෙන්නේ සියලු දෙනාම උපතින්ම පව්කාර ස්වභාවය ඇතුව ඉපදී සිටින නිසා බව බයිබලයේ ඇති ඉගැන්වීම පෙන්වාදෙයි.

පාපයට වැටීමට පෙර ආදම් සහ ඒවාගේ හදවත් තුල සමාදානය සහ ප්‍රේමය රජකරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මය ඔවුන් තුල ක්‍රියාවට නැගුන හේතුවයි. ඒ නුමුත් අකීකරුකම තුලින් මිනිසාට උරුමවූ පාපය ඒ තත්වය වෙනස් අතකට පෙරළු බව ආදම් සහ ඒවාගේ ජීවිත පැහැදිලිව පෙන්නුම් කරයි.

උදාහරණ ලෙසින්; ආදම් ඒවාගේ ප්‍රේමවන්තයා, රැකවලා සහ ආරක්ෂකයා වාගේම සපයා දෙන්නා ලෙසින්ද පාපයට වැටීමට පෙර පෙනී සිටියත්, පාපයට වැටීමත් සමග ආදම් ඒවාගේ චෝදනාකාරයා ලෙසින් වෙනස් වෙනවා පමණක් නොව නුමුත් ඉන්පසු ඔහු දෙවියන්වහන්සේටත් චෝදනා කරනුද එහි පැහැදිළිව පෙනෙයි.

"ඔබ මට සහකාරිය වශයෙන් දුන් ඒ ස්ත්‍රිය” යනුවෙන් ආදම් තමාගේ නිවැරදි බව ඔප්පුකර පෙන්වීමට තම සහකාරිය පාවා දෙන්නේ ඒ වෙනුවෙන් “ඔබ” යන වචනය දෙවියන්වහන්සේ කෙරෙහි යෝදා ගැනීමයි. (උප්පත්ති 3:12)

ආදම් තමාගේ වරද පිළිගන්නවා වෙනුවට තම වරද තම භාර්යාව කෙරෙහිත් අවසානයේදී එය දෙවියන්වහන්සේ කෙරෙහිත් පැටවීමට උත්සාහ කරන ආකාරය එය පෙන්වාදෙයි.

මේ ආකාරයෙන් වැරදි කිරීමට පෙළඹීම පමණක් නොව නුමුත් වැරැද්ද තව අයෙකු පිට පැවරීමේ මිනිස් ගතිය පාපය හේතුවෙන් ඇති වූ බව දේව වචනය තුලින් දැකිය හැකියි. මනුෂ්‍යයන් හැටියට වැරදි කිරීමේ ස්වභාවය අප උරුම කරගන්නේ මිනිසුන් වන අප සියලුදෙනා ඒ ආදම් තුලින් පැමිණීමේ හේතුව නිසායි.

3. පාපය මිනිස් ජිවිතයට ඇති කල තුන්වැනි බලපෑම.

පාපයේ හේතුවෙන් ආදම් සහ ඒවා අත්දුටු ඊළඟ අත්දැකීම වන්නේ, ජීවිතය ගැන භිය වී දෙවියන්වහන්සේ වෙතින් සැඟවී යාමට පටන්ගැනීමේ ක්‍රියාවයි. උප්පත්ති පොතේ ඒ ගැන මෙසේ සඳහන් වෙයි.

"..එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් පෑදී තමන් නග්නව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ.. ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන් වහන්සේ උයනෙහි සක්මන් කරණ ශබ්ධය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.."

මෙහිදී ඔවුන් (ආදම් සහ ඒවා) කොළවලින් ඉනවැසුම් සදාගැනීමට වූ හේතුව වුනේ, තමන් නග්න බව තේරුම් ගැනීමට පැමිණීමයි. නුමුත් ඇයි ඔවුන් දෙවියන්වහන්සේට භියෙන් සැඟවුනේ?

ආරම්භයේ පටන් දෙවියන්වහන්සේ සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ ආදම් සහ ඒවා දැන් දෙවියන්වහන්සේ ඉදිරියට යාමට භිය වන්නේ ඔවුන්ගේ මුල් ස්වභාවය දැන් ඔවුන් තුලින් ගිලිහි ගොස් ඇති බව තේරුම් ගැනීමේ හේතුවයි. පාපිෂ්ඨ ස්වභාවය ඔවුන්ගේ ආත්මික සහ ශාරීරික ස්වභාවය වෙනස් කල බැවින් ඒ හේතුව ඔවුන් දෙවියන්වහන්සේ ගෙන් සැඟවී සිටීමට පෙලඹවූ බවත් එබැවින් ඔවුන් දෙවියන් ඉදිරියට යාමට භය වූ බවත් පෙනෙයි.

එදා පටන් අද දක්වාම මිනිසා දෙවියන්වහන්සේ වෙතින් ඈත කර තැබීමට හේතුවන්නේද අප තුලත් රජකරන පාපිෂ්ඨ ස්වභාවයයි. පාපය අප තුල රජ කරනා තුරු දෙවියන්වහන්සේ සමග සහභාගිකම් අපට පැවැත්විය නොහැක්කේ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ අයෙකු වන හේතුවයි. පාපය අපට ශාරීරික මරණය මෙන්ම ආත්මිකවද මරණය හිමිකර දුන් බව දේව වචනය පැහැදිලි කරයි.

දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බැවිනුත් මිනිස් වර්ගයාගේ ස්වභාවය අධර්මිෂ්ඨ වූ නිසාත් ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේ සමග සම්බන්ධකම් පැවැත්වීම අප ඉදිරියෙන් ගිලිහි යන්නේ මිනිස් වර්ගයාට පාපය දැන් උපතින්ම උරුම වීමයි.

4. මිනිසාගේ අකීකරුකම ඉදිරියේ දෙවියන්වහන්සේ දක්වන නොවෙනස් කරුණාව.

“නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ, අප පව්කාරයන්ව සිටියෙදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමට සැලැස්වීම තුළින්ය. මක්නිසාද අප දුර්වලව සිටියේදී, නියම කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ අභක්තිකයන් උදෙසා මැරුණ සේක..

මක්නිසාද එක මනුෂයෙකුගේ (ආදම්ගේ) අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවාසේම, ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නේය,..

එබැවින් එක වරදක් කරණකොටගෙන දඬුවමට පත්කිරීම පිණිස සියලු මනුෂ්‍යයන් කෙරෙහි විනිශ්චය පැමිණුනාක් මෙන්ම, දෙවියන්වහන්සේගේ එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ධර්මිෂ්ඨ කිරීම පිණිස ජීවනයේ දීමනාවද සියලු මනුෂ්‍යන් කෙරෙහි වුයේය.” -රෝම පොත

අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය වෙනස් නොවන්නේ දෙවියන්වහන්සේ වෙනස් නොවන හේතුවයි. ඊට අමතරව පළමු මිනිසාගේ ඒ අකීකරු ක්‍රියාව නිසා ඔවුන් දෙවියන් වෙතින් වෙන්කර තැබීමට පාපය සමත් වුවත්, දෙවියන්වහන්සේගේ පැත්තෙන් පෙනෙන්නේ උන්වහන්සේ මිනිස් වර්ගයා අත්හැර නොදැමූ බවයි.

එයින් අදහස් කෙරෙන්නේ මිනිසා පාපයට වැටුනත් අප කෙරෙහි තිබුණු උන්වහන්සේගේ බැඳීම හෝ ඒ මුල් ප්‍රේමය හෝ පරමාර්ථය කිසි ලෙසකින් වෙනස් නොවූ බවයි. එබැවින් පාපයට හිමිවූ අවසාන දඬුව දෙවියන්වහන්සේම අප වෙනුවෙන් විඳ දරාගනිමින් අපට එයින් මිදීමට හැකි මාර්ගය සපයාදෙන පිණිසයි. .

මිනිස් වර්ගයා කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ ඒ පළමු ප්‍රේමය වෙනස්වන සුළු එකක් නොවීමේ හේතුව මිනිස් වර්ගයාගේ ආත්මික මිදීම වෙනුවෙන් දෙවියන්වහන්සේම ඉදිරිපත් වීමට හේතුවෙයි. අදාම් සහ ඒවා ගස්වල කොළවලින් තම නිර්වස්ත්‍ර කම වසාගෙන සිටිනු දුටු අවස්ථාවේ දෙවියන්වහන්සේ ඔවුන් වෙනුවෙන් කරන පළමු ක්‍රියාව වන්නේ, ඔවුන්ට සමෙන් ඇදුම් සාදා දීමයි. මිනිසා කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ කරුණාව එසේ දිස්වෙයි.

“ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇදුම් සදා ඇන්ද වූසේක.” උප්පත්ති 3:21

පාපයේ බෙදීම තුල අතරමන් වූ ආදම් සහ ඒවා ඒ පාපයේ ශාපය තුල හිරවී සිටීමට ඉඩනෑර දෙවියන්වහන්සේම ඔවුන්ගේ පිහිටට පැමිණි ආකාරය දෙවියන්වහන්සේගේ පැත්තෙන් පැහැදිලිව පෙනුනත් පාපය යන ඒ බලවේගය මිනිසාව දෙවියන්වහන්සේ ගෙන් තව තවත් ඈත්කර තැබු ඒ ඉතිහාසය දීර්ඝ ලෙසින් බයිබලයේ විස්තර කෙරෙයි.

දෙවියන්වහන්සේ මිනිස් වර්ගයාගේ දඬුවම භාරගෙන එයට හිමිවූ දඬුවම තමන් විසින්ම විඳ ගනිමින් තම ජීවිතය පාපයේ දඬුවම ලෙසින් පුජාවිමට සලස්වන්නේ, පාපයට සමාව ලබාගැනීමට හැකි වෙනත් මඟක මිනිස් වර්ගයාට නොවීමේ හේතුවයි. ඒ බැවින් මිනිස් වර්ගයාගේ මැවුම්කාර දෙවියන්වහන්සේම ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වන ආකාරය බයිබලයේ පැහැදිළිව වාර්තාවෙයි.

"මක්නිසාද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ එකම පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේමකළ සේක. එසේ කළේ උන්වහසේ කෙරෙහි විශ්වාශ කරණ සියල්ලෝම විනාශ නොවී සදාකාල ජීවනය ලබනු පිණිසය."

මනුෂ්‍ය වර්ගයාගේ පාපිෂ්ඨ ස්වභාවය සහ ඒ වෙනුවෙන් සපයාදුන් දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැළැස්ම යන මේ තේමාවන් දෙක තුළින් අප ලෝකය දෙසත් එසේම මිනිසුන් වන අප දෙසත් බලන්නේ නම්, වර්තමාන ලෝකයේ සිදුවෙන දේවල් ගැන පමණක් නොව නුමුත් ඒ පිටුපසින් අන්ධවී ක්‍රියා කරණ මිනිසාගේ ආත්මික තත්වයද වටහාගැනීමට හැකි අවස්තාව අප උදාකර ගන්නවාට සැකයක් ඇති නොවෙයි.

ඒ ගැන පාවුල් තුමාද කොරින්තියේ ජීවත්වූ අපි වාගේම මිනිසුන්ට පැහැදිලි කරනා ආකාරය 2 කොරින්ති පොතේ මෙසේ සඳහන් වෙයි.

“එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම්, ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය, මෙන්න සියල්ලම අලුත් වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේ ගෙන්ය. එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයයන් ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමගි කරගනිමින් සිටින සේක. ” – 2 කොරින්ති 55:17

පාවුල් තුමා මෙහි කියාසිටින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිත පුජාව තුලින් අපට ලැබෙන ඒ පව්සමාව ගැනයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් කල්වාරි කුරුසියේ කළ ජිවිත පුජාව විශ්වාස කර අදහාගැනීමට පැමිණීම පමණක් පාපයට සමාව ලබාගෙන දෙවියන්වහන්සේ ඉදිරියට යාමට හැකි සුදුසුකම ලබාදෙන එකම මාර්ගය බව දේව වචනය පවසයි.

දේව වචනය එය පෙන්වාදී තිබුණත් අප ජිවත්වන මේ වර්තමාන ලෝකයාට එය එසේ නොපෙන්නේ අපි පාපයටම වහල්වූ පව්කාරයන් වන හේතුවයි. එබැවින් උන්වහන්සේගේ වචනයට කීකරුවිමත් අවශ්‍යය වන්නේ, දෙවියන්වහන්සේට අපගේ හදවත් තුළ ක්‍රියාත්මක වීමට හැකිවන පිණිසයි.

(ධර්මදාස වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.